The Time Out

මෝටර් බයික් පදිනකොට අත්වලට අපහසුද?

ඔයත් නිතරම හරි ඉඳලා හිටලා හරි බයික් පදිනකොට අත් වලට අමාරුද? සීතල, ගැස්සෙන එක, බයික් එකේ බර වැඩි එක, හරි පාලනයක් නැති එක වගේ මොන අවුලක් තිබ්බත් මුලින්ම අමාරුවක් දැනෙන්නේ ඔයාගේ අත්වලට. ඉතින් අපි හිතුවා මේ වගේ අපහසුතා අඩු කරගන්න උදව් වෙන ටිප්ස් ටිකක් දෙන්න. එක එක අවුල්වලට මොනවද කරන්න පුලුවන් කියලා වෙන වෙනම කියන්න අපි සූදානම්.

01. සීතල!

හිම වැටෙන තරම් සීතලක් නැති උනත් වැස්ස වෙලාවට, රෑට වගේ බයික් එකේ යනකොට අත් සීතල වෙන එක සාමාන්‍යය දෙයක්. ග්ලවුස් දෙකක් පාවිච්චි කරත් මෙහෙම අත් සීතල වෙන්න පුලුවන්. අත් හිරිවැටෙන්න සීතල උනොත් අනතුරු වෙන්න පුලුවන් චාන්ස් එකකුත් තියෙනවා.

  • හුළං වදින එක වළක්වන්න: හෑන්ඩ්ගාර්ඩ් දෙකක් හැන්ඩ්ල් එකට සෙට් කරන්න පුලුවන් නම් ඔයාගේ අත්වලට හුළං වදින්නේ නැහැ. ඔයාට ආරක්ශාව වගේම සීතල හුළං වදින එක නවත්තන්න කියන වැඩ දෙකම මේකෙන් කරන්න පුලුවන්.
  • ශරීරයේ උඩ කොටස උණුසුම්ව තියාගන්න: ඇඟේ උඩ කොටස උණුසුම්ව තියාගත්තම ශරීරය හිතනවා මුළු ඇඟම උණුසුම් කියලා. ඇඟ උණුසුම්ව තියාගන්න පුලුවන් ජැකට් එකක් අඳින්න පුලුවන් නම් ඔයාගේ කවන්ධය උණුසුම්ව තියෙනවා. එතකොට ඔයාගේ ඇඟ පුරා උණුසුම් රුධිරය සංසරණය වෙනවා.
  • අත් උණුසුම්ව තියාගන්න: මේකට නම් පොඩි ගාණක් වියදම් වෙනවා. හැබැයි ඔයාට පුලුවන් නම් හැන්ඩ්ල් එකට හීටර් එකක් හයි කරගන්න සීතල උන ගමන් පොඩි ස්විච් එකක් ඔන් කරන පරක්කුවට ඔයාගේ අත් රස්නේ වෙනවා. එහෙම නැත්නම් හීට් ග්ලවුස් පාවිච්චි කරන්නත් පුලුවන් ඔයාට.

02. වයිබ්‍රේශන්ස්!

‍රෝද හතරෙ වාහන උනත් ඩ්‍රයිව් කරද්දි සුක්කානම වයිබ්‍රේට් වෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි බයික් එකේ යද්දි අත් දෙදරන එක එහෙම නැත්නම් වයිබ්‍රේට් වෙන එකටත් සරල විසඳුම් තියෙනවා.

  • බාර් එන්ඩ්ස්: බයික් හැන්ඩ්ල් එකේ අගට හයි කරන්න පුලුවන් බාර් එන්ඩ් වලින් හැන්ඩ්ල් එකේ ස්ථායිතාවය වැඩි වෙනවා. වැඩි වියදමක් නැතුව එක එක බරවල්වල බාර් එන්ඩ් ට්‍රයි කරලා බලලා ඔයාට ගැළපෙන බාර් එන්ඩ් එක හොයාගන්න පුලුවන්.
  • ග්‍රිප්ස්: එක එක අත්වලට ගැළපෙන විදියේ ග්‍රිප්ස් වෙළෙඳපොළේ ඕන තරම් තියෙනවා. ඉතින් ගැස්සිලි පැද්දිලි අඩු කරගන්න ඔයාගේ අතට ගැළපෙන විදියේ ග්‍රිප් එකක් දාගන්න.
  • ත්‍රොට්ල් ලොක්: නවීනතම බයික් වල එන ‘’කෲස් කන්ට්‍රෝල්” සිස්ටම් එකක් ඔයාගේ බයික් එකේ නැද්ද? ට්‍රැෆික් අඩු පාරක එකම ස්පීඩ් එකක යන්න ඇක්සලේටර් එක අල්ලන් ඉඳලා අතට අමාරුයිද? ඔයාට තියෙන හොඳම විසඳුම තමයි ත්‍රොට්ල් ලොක් එකක් හයි කරගන්න එක.

03. අර්ගනොමික්ස්!

බයික් එකේ ඩිසයින් එක නිසාම එන සමහර දේවල් එක්ක ඔයාගේ අත්වලට අමාරු වෙන්න පුලුවන්. ඔයා බයික් එක පාවිච්චි කරන අරමුණට නැතුව වෙන අරමුණු වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු බයික් එකක් නම් ඔයා පදින්නේ මේ වගේ ප්‍රශ්න වැඩියෙන් බලපාන්න පුලුවන්. මේ වගේ අවුල් වලටත් අපි ළඟ විසඳුම් තියෙනවා.

  • ස්ටොක් ඇජස්ට්මන්ට්ස්: හැන්ඩ්ල් බාර් එකේ ස්ටොක් ක්ලිප්ස් එහෙට මෙහෙට කරලා ඔයාට ටිකක් සුවපහසු උනාද කියලා බලන්න. මේ වැඩේ කරන එක ලේසියි වගේම මේක කරන්න සතයක්වත් වියදම් වෙන්නේ නැහැ.
  • බාර් රයිසර්ස්: බාර් එක තියෙන උසට වඩා වැඩි කරගන්න එක ලෝකේ පුරාම ඉන්න රයිඩර්ස්ලා ට්‍රයි කරන විසඳුමක්. බාර් එක තියෙන විදිය ඔයාට සෙට් වෙන්නේ නැත්නම් ඔයාට පුලුවන් බාර් රයිසර් එකක් පාවිච්චි කරලා ටිකක් අත්වලට සුවපහසු උසකට බාර් එක ගන්න.
  • ආෆ්ටර්මාර්කට් බාර්ස්: බයික් එකේ බාර් එකේ ග්‍රිප්ස් ඔයාගේ අතට ඇල්ලෙන ඈන්ගල් එක ඔයාට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන් ගැජට්ස් වෙළෙඳපොළේ ඕන තරම් තියෙනවා. මුලින්ම හරිම ඈන්ගල් එක ඔයාට හොයාගන්න බැරි උනත් ටිකක් ට්‍රයි කරොත් හිතාගන්න බැරි තරම් පහසුවක් ඔයාට දැනෙයි.

ක්ෂණික විසඳුම්

ගමනක් යන අතරමඟ ඔයාගේ අත්වලට අපහසුවක් දැනුනොත් කරන්න ඕනේ විදියේ ක්ෂණික විසඳුම් ටිකකුත් අපි කියන්න සූදානම්.

  • දණහිස් තද කරගන්න

අත් වලට සම්පූර්ණයෙන් බර දීලා ඉඳලා මහන්සි වගේ නම් ඔයාට පුලුවන් දණහිස් වලින් ටැංකිය තද කරගෙන ඇඟේ බර පාලනය කරන වැඩෙන් වැඩි කොටසක් කකුල් වලට දෙන්න. මේකෙන් ඔයාගේ අත් වලට පොඩි විවේකයක් හම්බවෙයි.

  • අත් හොලවන්න.

වැදගත්ම දේ තමයි මේක කරන්න ඕනේ බයික් එක පොඩ්ඩකට නැවැත්තුවාම. එක්කො ට්‍රැෆික් ලයිට් එකක් රතු උනාම හරි පොඩි විවේකයක් ගන්න නැවැත්තුවාම හරි මේ වැඩේ කරන්න. අත් දෙක පොඩ්ඩක් ගසලා, හිරි ඇරලා, ටිකක් ස්ට්‍රෙච් කරලා, ඇඟිලි ටික නවලා, වැළමිට මැණික්කටුව උරහිස් රවුමක් කරකවලා ගත්තම අලුත් පණක් එනවා.

  • ග්ලවුස්!

බයික් වලටම ගැළපෙන විදියේ ලස්සන ලෙදර් ග්ලවුස් නැති උනත් නිකන් රබර් ග්ලවුස් දෙකක් සීට් එකේ යට තියාගන්න. ලස්සන නැති උනත් දරාගන්න අමාරු සීතලකදි මේ වගේ ග්ලවුස් මාරම විදියට උදව් වෙනවා.

  • ඩක් ටේප්

මේක තාවකාලික් විසඳුමක්. හැබැයි ග්‍රිප් එකේ වටේ ඩක් ටේප් අලවන එකෙන් හැන්ඩ්ල් එකේ වයිබ්‍රේශන් සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. ග්‍රිප් එකේ ගම් ගෑවෙන එක වළක්වගන්න ඩක් ටේප් එක ගහන්න කලින් ශොපින් බෑග් එකක් වගේ යටින් තියලා ඉන්න.

Back to top button
Close
Close