Maintenance

මෝටර් බයික් එකක් හෝදන හරිම විදිය

ඔයාට තියෙන්නේ මොන වගේ Motorbike එකක් උනත් සර්විස් ස්ටේශන් එකකට දාලා අතේ තියෙන ගානට තට්ටු කරගන්නේ නැතුව ගෙදරදිම තමන්ම Motorbike එක හරියට හෝදගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද? බයික් එකට තියෙන ආදරේ වැඩි වෙනවා වගේම බයික් එක පිට මනුස්සයෙක් හෝදද්දී වෙන්න පුලුවන් හානි ගැන කිසිම අවදානමකුත් නැහැ එතකොට. කාර් වලට වගේ නෙමෙයි, හයි ප්‍රෙශර් හෝස් එකකින් වතුර පාරක් අල්ලද්දි බයික් එකේ පොඩි පොඩි කෑලි ඩැමේජ් වෙන්න පුලුවන්.

මුලින්ම ඔයා කරන්න ඕනේ වියළි, හැබැයි හෙවණ තැනැක් හොයාගන්න ඕනේ. මොකද ඉර එළිය නිසා ඇතිවන උෂ්ණත්ව වෙනස්කම් වලට පුලුවන් පේන්ට් එකේ පාරවල් ඇතිකරන්න.

වැඩේ හොඳටම කරන්න නම් පහළ තියෙන බඩු ලිස්ට් එක ඕනේ වෙනවා.

  • සබන් වතුර වලට බාල්දියක්
  • සබන්/ සේදුම් කුඩු ( වාහන හෝදන්නම විශේෂයෙන් තියෙන ක්ලීනර්ස් නම් වඩා හොඳයි)
  • අත් ආවරණ/ ග්ලව්ස් ( අත් කිළිටි කරගන්න ඕනේ නැත්නම්)
  • Bug and Tar remover (තාර සහ අනෙකුත් කිළිටි පැල්ලම් ඉවත් කරන ස්ප්‍රේ එක)
  • එන්ජින් ක්ලීනර්
  • දත්බුරුසුවක්
  • WD40
  • රෝද සුද්ද කරන්න බ්‍රශ් එකක්
  • මයික්‍රොෆයිබර් හෝ සම්පූර්ණයෙන්ම කපු වලින් සාදන ලද ස්පොන්ජ් 2ක්
  • කපු තුවා කැබලි
  • වේලීමට රෙදි කැබැල්ලක්

 

  • වතුර ලෑස්ති කරගන්න

සමහර අය නිකන්ම වතුරෙන් වාහන හෝදනවා. අනිත් අය සබන් එකක් හරි දියරයක් හරි දාලා හෝදනවා. ඔයා මේ මොන ක්‍රමේ අනුගමනය කරත් වැඩේ ලේසි වෙන්න වතුර හරි මිශ්‍රණය හරි බකට් එකකට හදාගන්න. ස්පොන්ජ් කෑලි ටික ළඟින් තියාගන්න. හැබැයි බිම තියන්න එපා. වැලි කැට ටිකකට පුලුවන් ඔයාගේ බයික් එකේ පේන්ට් එක විනාස කරලා දාන්න.

  • පැල්ලම් ඉවත් කරන්න.

බයික් එක හෝදද්දී තියෙන එපාම කරපු වැඩේ මේක. මැරිච්ච පොඩි සත්තු සහ තාර පැල්ලම් ඉවත් කරන එක. මේ වැඩේටම හදපු දියර ජාති තියෙනවා bug and tar remover කියලා. එහෙම නැත්නම් ගොඩක් අය WD40 දියරයම මේ වැඩේටත් පාවිච්චි කරනවා. ඕනවට වඩා අතුල්ලන්න ගිහින් පේන්ට් එකට හානි කරගන්නේ නැතුව පරිස්සමෙන් වැඩේ කරගන්න ඕනේ. මේකට පාවිච්චි කරන ස්පොන්ජ් එක ආයෙත් පාවිච්චි කරන්න එපා.

  • අමාරු කොටස් පිරිසුදු කිරීම.

ඊළඟ වැඩේ තමයි ටිකක් අස්සට වෙන්න වගේ තියෙන පිරිසිඳු කරන්න අමාරු කොටස් පිරිසුදු කරන එක. මේකත් අනාගන්නේ නැතුව කරන්න ඕනේ වැඩක්. ටිකක් හයිය ස්පොන්ජ් එකකින් එන්ජින් එකෙන් එන බට, අනිත් බට වගේ දේවල් බයික් එකේ සංවේදි කොටස් වලට හානි වෙන්නේ නැති විදියට පිරිසිඳු කරන්න.

  • අහුමුළු පිරිසිඳු කරන්න.

ප්‍රදර්ශනයකට දාන ලෙවල් එකට බයික් එක පිරිසිඳු කරන්න ඕනේ නැහැ තමයි. ඒත් අහුමුළු අමතක කරන්න බැහැ. විශේෂ උපකරණයක් නැත්නම දත් බුරුසුවකින් මේ වැඩේ කරන්න පුලුවන්. තෙල් ග්‍රීස් ඉවත් කරන Degreaser ටිකක් දත් බුරුසුවේ ගාලා පුලුවන් උපරිම ප්‍රදේශයක් සුද්ද කරන්න. Degreaser නිසා තෙල් පාරවල් සහ ග්‍රීස් පාරවල් නැතිවෙලා ගිහින් හොඳ දිලිසෙන ගතියක් එයි.

  • බ්‍රේක් ඩස්ට් ඉවත් කරන්න.

රෝද සුද්ද කරන එකත් ටිකක් අමාරු වැඩක්. බ්‍රේක් dust ඉවත් කරන්න හොඳම විදිය තමයි මිට දිග බුරුසුවක් පාවිච්චි කරන එක. වීල් ක්ලීනර් එකක් තියෙනවා නම් රෝද දෙක අලුත්ම රෝද දෙකක පෙනුමක් එන විදියට හදාගන්න පුලුවන්. වීල් ක්ලීනර් එක දාලා ටික වෙලාවක් තියන්න අතුල්ලන්න කලින්. හැබැයි ටයර් නම් වැඩිය අතුල්ලන්න යන්න එපා. එ වගේම මේ වෙලාවට තමයි හොඳටම පෙන්නේ tyre එකේ තත්වේ කොහොමද කියලා.දාපු tyre එක ගෙවිල වැඩිද? නැත්තම් වෙන හානියක් වෙලාද? අලුත් tyre එකක් දානේ කාලේ හරි වගේද? වගේ ප්‍රශ්න වලට උත්තර බයික් එක හොඳන වෙලාවේම දැනගන්න එක හොඳයි.නැත්තන් අපේ ගොඩක් අයට ටයර් මාරු කරන්න මතක් වෙන්නේ මොකක් හරි අනතුරක් උනාට පස්සෙනේ.

  • පිටත කොටස් සේදීම.

මයික්‍රොෆයිබර් ස්පොන්ජ් gloves ඕනේ වෙන්නේ මෙන්න මේ වැඩේට. බයික් එකේ පේන්ට් කරලා තියෙන කොටස් සබන් වතුර බාල්දිය පාවිච්චි කරලා හෝදන එක තමයි දැන් කරන්න තියෙන්නේ. ස්පොන්ජ් එකෙන් අතුල්ලන්න කලින් පේන්ට් එක තෙත් වෙන්න ඇති තරම් වෙලාවක් දෙන්න. එතකොට පේන්ට් එකට හානි වෙන අවදානම අඩුයි. මයික්‍රොෆයිබර් ස්පොන්ජ් හෝ 100% කපු රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම වගබලාගන්න. ඊටපස්සේ හෝස් එකකින් පොඩි වතුර පාරක් හරි බාල්දියකින් හරි වතුර ගහලා බයික් එකම හෝදන්න.

  • Motorbike එක වේලන්න.

තාම වැඩේ ඉවර නැහැ. බයික් එක අව්වට දාන්න හදිස්සි වෙන්න එපා. මෘදු රෙදි කෑල්ලකින් පේන්ට එක තියෙන හරිය තෙත මාත්තු කරන්න. මෙහෙම කරොත් පැල්ලම් පැතිරෙන එක සහ පේන්ට් එකට වෙන්න පුලුවන් හානිය වළක්වගන්න පුලුවන්.

දැන් වැඩේ ඉවරයි. හොඳට නාලා ඉන්න බයික් එකෙන් වටයක් යන්න තමයි දැන් තියෙන්නෙ. ඔයාට ආඩම්බර ගතියක් එනවා වගේම හුළං පාරට බයික් එකේ අහුමුළු එහෙම හොඳට වේළෙයි. පුලුවන්නම් බයික් එක වේළෙනකන් මඩේ සහ දූවිලි වල යන්නේ නැතුව ඉන්න බලන්න.

Tags
Back to top button
Close
Close