The Time Out

තව කෙනෙක්ව දාගෙන බයික් එකේ යන්න දන්නවද?

රේස්වලටම හදපු සමහර බයිසිකල් හැරුණම සාමාන්‍ය මෝටර්බයික් හදලා තියෙන්නේ දෙන්නෙක්ට යන්න පුලුවන් විදියට. හැබැයි තව කෙනෙක්ව දාගෙන බයික් එකේ යන එකයි තනියම යන එකයි දෙකක්. වාහනයක් ළඟින් යන්න උනොත්, අමාරුවෙන් බැලන්ස් කරගන්න උන වෙලාවක වගේ නම් හිතෙයි තව කෙනෙක්ගේ වගකීම නේද මේ අරගන්නේ කියලා. ඒත් මේ ටිප්ස් ටික හොඳට අධ්‍යනය කරාම තවත් එක්කෙනෙක්ව දාගෙන මෝටර්බයික් එකේ ගමන් කරන එක එච්චර අමාරු නැති තවත් එක සාමාන්‍ය දෙයක් විතරක් වෙයි.

බයික් එකට තව එක්කෙනෙක්ගේ බර දරන්න පුලුවන්ද කියලා සහතික කරගන්න.

රාත්තල් 350ක මනුස්සයෙක්ව ඔයාගේ Honda Cub බයික් එකේ දාගෙන යන්න ඔයා හිතනවා නම් ඒක එච්චර හොඳ අදහසක් නෙමෙයි. මේ බයික් එකේ විතරක් නෙමෙයි වෙන ඕනම බයික් එකක උනත් ඒ කෙනාගේ බර දරන්න, එයාව අරන් යන්න බයික් එකට පුලුවන්ද කියලා දන්නේ නැතුව එහෙම කෙනෙක්ව අරන් යන එකත් හොඳ අදහසක් නෙමෙයි. ඇක්සලරේශන්, බ්‍රේක් ගහන එක, සස්පෙන්ශන් මේ හැමදේටම අමතර බර බලපානවා. ඇක්සලරේශන් ගැන නම් ඔයාට ලොකු දෙයක් කරන්න බැරි වෙයි. ඒත් බ්‍රේක් හොඳ තත්ත්වයේ තියෙනවද, අමතර බර දරන්න සස්පෙන්ශන් ඔරොත්තු දෙනවද කියන කාරණා ඔයා හොයලා බලන්න. පිටිපස්සේ යන කෙනාට කකුල් තියන්න පුලුවන් වෙන්න ෆුට් පෙග්ස් තියෙන එකත් අනිවාර්යය කාරණාවක්.

බයික් එකට නඟින විදිය

ඔයා සූදානම් වෙනකන් අනිත් කෙනාට පොඩ්ඩක් ඉන්න කියන්න. ඔයා බයික් එක බැලන්ස් කරගන්න කලින් එයා නඟින්න ගියොත් දෙන්නම බිමට වැටෙන්න පුලුවන්. පිටිපස්සේ කෙනාගේ කකුල් තියන ෆුට් පෙග්ස් දිග ඇරලාද බලලා වම් පැත්තෙන් නඟින්න කියන එක තමයි සුදුසුම දේ. සයිලන්සරය ගැනත් මේ වෙලාවේ සැළකිලිමත් වෙන්න. අනිත් කෙනා නඟිද්දි වෙන ගැස්සිලි පැද්දිලි වලට ඔරොත්තු දෙන විදියට කකුල් දෙක හොඳට බිම තියාගෙන ඉන්න. කික්ස්ටෑන්ඩ් එකේ තියෙද්දී නගින එක ලේසි කියලා ඔයා හිතුවට අමතර බරත් එක්ක ස්ටෑන්ඩ් එක අයින් කරන එක ටිකක් අමාරු වැඩක්.

තදින් අල්ලගෙන ඉන්න තරමට හොඳයි.


පිටිපස්සේ ගමන් කරන කෙනා ඔයාව තදින් අල්ලන් ඉන්න තරමට ආරක්ශාව වැඩියි. ලිහිල් විදියට ඔයාව අල්ලන් ඉන්නව නම් ඔයා බ්‍රේක් කරද්දී ඔයාගේ ඇඟට එන්න සහ ඇක්සලරේට් කරද්දී එයා වැටෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි. බිමට වැටුණේ නැතත් එයා වැටෙයි කියලා ඔයාට හිතෙන්න පුලුවන්. මේක ඔයාට ටිකක් කරදර උනත් (සමහර වෙලාවට අමතර වාසියක් වෙන්නත් බැරි නැහැ) පිටිපස්සේ කෙනා වැටෙයිද වැටෙයිද කියලා හිත හිත යනවට වඩා හයියෙන් ඔයාව අල්ලගන්න කියන එක හොඳයි.

හරවද්දී…

පිටිපස්සේ කෙනාගේ පොඩි චලනයක් උනත් ලොකුවට දැනෙන්න පුලුවන් බයික් එක හරවද්දී. වැඩිය බයික් වල පිටිපස්සේ ගිහින් පුරුදු නැති කෙනෙක් නම් ඔයත් එක්ක යන්නේ වංගු ගද්දි එයා බයික් එක ඇළ වෙන පැත්තට විරුද්ධ පැත්තට බර වෙන්න පුලුවන්. මෙහෙම වෙන්නෙ වැටෙයි කියන බයට. බයික් එකේ යන්න පටන් ගන්න කලින්ම ඒ කෙනාට පොඩි උපදෙසක් දෙන්න. හැමවෙලාවෙම කෙළින් ඉන්න කියලා. වංගු ගනිද්දී ඔයාගේ වංගුවේ පැත්තේ උරහිසින් ඉස්සරහ බලන් ඉන්න කියන්න. එයා එහෙම හරවන පැත්තට ලබාදෙන පොඩි බර සහ ඒක එක දිගට වෙනවද කියන එක මත ඔයා බයික් එක හරවන ප්‍රමාණය වෙනස් කරගන්න පුලුවන්.

නවත්තද්දී…

ඔයා බයික් එක නවත්තද්දිත් පිටිපස්සේ යන කෙනාට එයාගේ කකුල් ෆුට් පෙග්වලම තියාගෙන ඉන්න කියන්න. මොකද නවත්තන්න කලින් එයා කකුල් බිම තියන එක අනතුරුදායකයි. බයික් එක නවතද්දි තමයි බයික් එක වඩාත්ම අවිනිශ්චිත තත්ත්වයක තියෙන්නේ ගුරුත්වාකර්ෂණය එක්ක බයික් එකේ බ්‍රේක් වලින් බයික් එකේ වේගය අඩාළ කරලා එක තැනක කෙළින් නවත්තන්න යන්නේ. පිටිපස්සේ කෙනා කකුලක් බිම තියන්න ට්‍රයි කරොත් ඔයාගේ බැලන්ස් එකට සහ බයික් එකේ බැලන්ස් එකට ඒක බලපානවා. බයික් එක සම්පූර්ණයෙන්ම නවත්තගත්තට පස්සේ නගින්න හදද්දි දුන්න වගේම උපදෙසක් තමයි ආයෙත් දෙන්න තියෙන්නේ. ඔයා සූදානම් වෙනකන් පිටිපස්සේ කෙනාට බහින්න එපා කියන්න. ඔයා සමබර ඉරියව්වකට කකුල් තියාගත්තට පස්සේ නැග්ග වගේම වම් පැත්තෙන් බහින්න කියන්න. මෙතනදිත් සයිලන්සරය ගැන ආයෙමත් සැළකිලිමත් වෙන්න.

අමතර උපදෙස්:

  • ඔයාගේ බයික් එකේ පිටුපස ගමන් කරන කෙනාට අතින් අල්ලගන්න පුලුවන් ‘පැසෙන්ජර් හෑන්ඩ් හෝල්ඩ්’ නැත්නම් සහ ඔයා නිතරම තවත් කෙනෙක් එක්ක නම් බයික් එකේ යන්නේ හෑන්ඩ් හෝල්ඩ්ස් දෙකක් සවි කරගන්න.
  • පිටිපස්ස හැරෙන්න හෝ දැනුවත් නොකර එකපාර කරන අංගචලන වලින් වළකින ලෙස පිටුපස කෙනාට දන්වන්න.
  • අධික වේගය සහ බයිසිකලය උවමනාවට වඩා ඇළ කරන හැරවීම් වලින් වළකින්න.
  • අමතර බරත් එක්ක පාලනය කිරීම් සහ බ්‍රේක් යෙදිය යුතු දුර වෙනස් බව මතක තියාගන්න.
  • පසුපස කෙනාට අපහසු නම්, වේගය වැඩි නම්, නැවැත්වීමට අවශ්‍ය නම් දැන්විය හැකි ආකාරයේ සංඥා කිහිපයක් යොදාගන්න.
  • අඩු වේගයෙන් ගමන් කරද්දී බයික් එකේ වේගය අඩාළ කිරීමට/ නැවැත්වීමට පිටුපස බ්‍රේක් පාවිච්චි කරන්න.
  • ගමන් කරන කෙනාට ගැළපෙන ආකාරයේ ආරක්ෂිත උපාංග පැළඳගෙන ඇති බවට වග බලාගන්න.
Back to top button
Close
Close