The Time Out

පොඩ්ඩෙක් සමඟ බයික් එකේ යන හරි විදිය

ඔබත් Motorbike එකක ආඩම්බර හිමිකරුවෙක් නම් අහල පහළ පොඩි ළමයි ඔබත් සමඟ bike එකේ රවුමක් යන්න අහපු අවස්ථාවන් ඕන තරම් ඇති. එහෙමත් නැත්නම් ඔබේම දරුවා සමඟ ඔබ bike එකේ ගමන් බිමන් යනවා ඇති. ඒ වගේ වෙලාවට ඔබ දෙදෙනාගේම ආරක්ශාව වෙනුවෙන් කරන්න පුලුවන් සහ ඔබ කළ යුතු දේවල් රාශියක්ම තිබෙනවා. ඔබේ දරුවන් සමඟ Motorbike එකක ගමන් කරන එක ටිකක් අනතුරුදායක වුණාට ආරක්ෂිතව මේ දේ කරනවා නම් ඔවුන් සමඟ ගමන් කිරීම විනෝදජනක දෙයක් බවට පත්වෙන්න පුලුවන්. Bike එකේ ගමන් කරද්දී ඔබේ පොඩ්ඩාට හානියක් වෙන්නේ නැති බව සහතික කරගැනීම සඳහා උපදෙස් කිහිපයක් මෙන්න:

  • ළමයින්ට සුදුසු helmet එකක් මිලදී ගන්න

පොඩි ළමයිනුත් වැඩිහිටියන්ගේ ප්‍රමාණයේ helmet පැළඳගෙන සිටින අවස්ථා ඔබ දැක ඇති. මේ වගේ හෙල්මට් අනතුරකදී ගැලවිලා විසි වෙන්න ඉඩකඩ වැඩියි. පොඩ්ඩන් සඳහාම විශේෂිත helmet තිබෙනවා. Chin-bar එකක් සහිත full-face helmet එකක් මිලදී ගන්න කියලා අපි ඔබට රෙකමන්ඩ් කරනවා. Chin-bar එක සහ shell එකේ ඉතිරි කොටස wide polystyrene වලින් නිර්මාණය කර තිබිය යුතුයි. Helmet එකේ face shield එකක් නැත්නම්, අඩුම තරමින් goggles මිලදී ගැනීමට වග බලා ගන්න.

ඔබේ පොඩ්ඩාට ගැළපෙන helmet එකක් මිලට ගැනීමේ අවාසිය තමයි, ඔවුන් ඉතා ඉක්මණින් helmet එකේ size එකට වඩා ලොකු වෙන එක. ඒත් ඒක නිදහසට කාරණාවක් නම් නෙමෙයි. ඔබේ පොඩ්ඩාගේ helmet strap එක තද කරද්දී ඔවුන් මැසිවිලි නැගුවොත් ඔබ පුදුම වෙන්න එපා, මැසිවිලි මැද වුණත් හරි ගාණට helmet එක තද කරන්න ඔබ වගබලාගන්න. මුහුණේ පොඩි කැළලක් ටික කලකින් නැතිවෙලා ගියත්, අනතුරකින් සිදුවෙන්න පුලුවන් මුහුණේ ලොකු තුවාලයක් ඊට වඩා හුඟක් විනාශකාරී බව මතක තියාගන්න. පොඩ්ඩන් සඳහා මිලදී ගන්නා helmet, DOT ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි.

  • දරුවා ඔබ ඉදිරියේ අරන් යන්න එපා!

දරුවෙකුව bike එකේ ඉස්සරහ තියාගෙන යන එක එච්චර නුවණට හුරු දෙයක් නෙමෙයි. එයින් bike එකේ ක්‍රියාකාරිත්වයට බාධා වෙනවා විතරක් නෙමෙයි, ඔබේ දරුවා පහසුවෙන් වැටෙන්න ඉඩකඩ ලබාදෙනවා. Bike එකේ ඔබට පිටුපසින් තදින් බැඳී ඇති seat එකක ඔබේ දරුවාව රැගෙන යාම වඩා ආරක්ෂිතයි.

  • ඔවුන්ට නිසි ඇඳුම් ලබා දෙන්න

Motorbike එකක ගමන් කරන විට තද රස්නයට හෝ තද සීතලට මුහුණ දෙන්න පුලුවන් බව ඔබ දන්නවා. ඒ නිසා ඔබේ දරුවන්ට අඳින්න සුදුසු ඇඳුම් මිලදී ගැනීමට වග බලා ගන්න. Zipper සහ zipped cuffs සහිත leather හෝ denim වලින් සාදා ඇති හොඳ riding jacket එකක් මේ වැඩේට ගැළපෙනවා. ඔබ හදිසි අනතුරකට ලක් වුවහොත් මෙමඟින් ඔබේ දරුවාට සැලකිය යුතු ආරක්ෂාවක් සපයනවා. Leather gloves ද ඔබේ පොඩ්ඩන්ට වැදගත් වෙන්නේ, ඔබ හදිසි අනතුරකට ලක් වුවහොත් ඔවුන්ගේ දෑත් සීරීම් වලින් ආරක්ෂා වන නිසායි.

ඔබේ දරුවන් සඳහා ගැළපෙන කලිසම් ද මිලදී ගත යුතුයි. හොඳ ජීන්ස් මේ සඳහා ප්‍රමාණවත් වන අතර වළලුකරට වඩා උසට ඇති boot යුගලයක් මිලදී ගැනීමටත් අමතක කරන්න එපා. ඔබට පුලුවන්කමක් තියෙනවා නම් ලේස් නැති සපත්තු කුට්ටමක් මිලදී ගන්න. සපත්තු ලේස්, chain එකේ සිරවුණොත් ලොකු අනතුරක් වෙන්න ඉඩකඩ තියෙනවා.

  • Balance කරන්නේ කොහොමද?

දැන් ඔබට අවශ්‍ය සියලුම ආම්පන්න මිලදී ගෙන ඉවරයි. ඔබ සැලකිලිමත් විය යුතු ඊළඟ දෙය නම් පොඩ්ඩන් bike එකේදී balance වෙලා ඉන්නේ කොහොමද කියන දේයි. පොඩ්ඩන්ව bike එක ඉස්සරහ අරන් යන එක හොඳ වැඩක් නෙමෙයි කියලා අපි මුලදීම කිව්වා. ඔබ දුර ගමනක් යන විට ඔබේ දරුවා නිදා ගැනීමට වැඩි අවස්ථාවක් තියෙනවා කියන දේටත් ඔබ අවධානය යොමු කළ යුතුයි.

පුලුවන් තරම් තදින් ඔබව අල්ලාගෙන ඉන්න කියලා පොඩ්ඩට කියන්න ඔබට පුලුවන්. ඒත් මේ විසඳුම හරියන්නේ නැති අවස්ථාවන් තියෙනවා. ඔබේ දරුවාගේ අත් පොඩියි නම්, ඔවුන්ට ඔබව තදින් අල්ලා ගැනීමට බැරි වෙන්න පුලුවන්. ඉතින් මේ ප්‍රශ්නෙට හොඳම solution එක මොකක්ද? ඔබට සහ ඔබේ දරුවාට belt එකක් මිලදී ගන්න පුලුවන්. ඔබ පාරේ ගමන් කරන විට ඔබේ දරුවාට අල්ලාගෙන ඉන්න පුලුවන් විදියේ අත් පටි මේ belt වල තියෙනවා. කොහොම වුණත් අවුරුදු දහයට අඩු ළමයින්ට මේක එච්චර හොඳ විසඳුමක් නෙමෙයි. අවුරුදු 10ට අඩු ළමයින්ට හැමවෙලාවෙම අල්ලාගෙන ඉන්න ඕනේ කියන දේ අමතක වෙන්න පුලුවන්.

Child’s riding belt එක මේ සඳහා තියෙන හොඳම විසඳුමයි. එය මූලික වශයෙන් දරුවාගේ කකුල් අතරින්, උරහිස් වලට උඩින් සහ ඉණ වටා ඇති belt එකක් වන අතර එමඟින් ඔවුන්ට එහා මෙහා යාමේ ඉඩකඩ අහුරනවා. මේ විශේෂිත belt එක පැළඳගන්න එක පහසු දෙයක් වුණත් quick release buckles බෙල්ට් එකේ පිටුපස තිබෙන නිසා පොඩ්ඩාට තනියම ගලවගන්න අමාරුයි. මේ belt එක ඔබේ ඉණ වටාත් ගමන් කරන නිසා දරුවා තවත් සුරක්ෂිත වෙනවා. ඔබ bike එකේ නොවැටී ඉන්නතාක් ඔවුනුත් ඔබ සමඟම ආරක්ෂිතව bike එකේ ඉඳීවී.

  • මූලික ආරක්ෂක කුසලතා ඔවුන්ට උගන්වන්න

මේ දේ කරන්න ටිකක් ඉවසීමක් වුවමනා වෙනවා. මොකද ළමයින්ට ඉතා ඉක්මණින් අමතක වෙනවා වුණත් ප්‍රායෝගික පුරුද්දත් එක්ක මේ ආරක්‍ෂිත ඉඟි ඔවුන්ගේ මතකයේ රැඳී පවතිනවා. සෑම ගමනකටම පෙර ඔබේ දරුවාට දකුණු පැත්තෙන් නොව වම් පැත්තෙන් motorbike එකට නැගීමට මතක් කරන්න. Exhaust pipe එක ගැන නිතරම සැලකිලිමත් වීමටත්, ඔවුන්ගේ පාද wheels වලින් ඈත් කර තැබීමටත් ඔවුන්ට මතක් කරන්න.

ආරම්භයේදී ඔබ හැමදේම කුඩාවට, simple විදියට පටන් අරන් හෙමින් වැඩිදියුණු කරගෙන යා යුතුයි. මුලදී ලොකු traffic එකක් නැති පාරවල්වල ගමන් කිරීම වඩා හොඳයි. එතකොට ඔවුන්ට Motorbike එකක ගමන් කිරීමේ අදහස හුරු කරගන්න පුලුවන්. සමහර අය තර්ක කරනවා දරුවන් සමඟ Motorbike එකක ගමන් කිරීම භයානකයි කියලා. මේ තර්කය සම්පූර්ණයෙන්ම බැහැර කරන්න අපිට බැහැ. Motorbike එකක ගමන් කරද්දී දෙමව්පියෙකු විදියට ඔබේ දරුවාගේ සහ ඔබේ ආරක්ෂාව සහතික කළ හැකි සියලුම දේ කිරීමට ඔබ වගබලගත යුතුයි.

Back to top button
Close
Close