The Time Out

බයික් පදින අය නොකියන ඇත්ත කථාව

මෝටර්බයික් වල යද්දි එද්දි, නඩත්තු කරද්දි ගත්ත ලස්සන පින්තූර සහ කතන්දර ඔයා නිතරම දකිනවා ඇති. ඒත් එච්චර සුන්දර නැති අත්දැකීම් ගැන අහන්න දකින්න ලැබෙනවා අඩුයි. ඒ වගේ යතාර්ථයන් කිහිපයක් ගැන අපි කියන්න සූදානම්.

ඔයාටත් බයික් එකක් තියෙනවා නම් මේ අත්දැකීම අනිවාර්යයෙන්ම ලබලා ඇති. හෙල්මට් එකක් අතේ තියන් ගියත් බයික් එක ගැන, හෙල්මට් එක ගැන, පර්ෆෝමන්ස් ගැන, ස්ටන්ට් ගැන තව ලෝකේ නැති දේවල් ගැන මිනිස්සු අහනවා. එතකොට අපි ටිකක් විශේෂයි වගේ හැඟීමක් අපිට එනවා. අහන දේවල් වලට දන්න විදියට උත්තර දීලා බයිසිකල් ක්ෂේත්‍රයට ආධුනිකයෙක් නම් උපදෙසක් දෙකක් දෙන්නත් අපි අමතක කරන්නැහැ. ඒ සුන්දර දේවල් පැත්තකින් තියලා සාමාන්‍යයෙන් ගොඩක් අය මෝටර්බයික් සම්බන්ධයෙන් කියන්නේ නැති යතාර්ථයන් කිහිපයක් පහතින් දැක්වෙන්නේ.

  • වියළි සහ හිරු සහිත කාළගුණය

වහින වෙලාවක බයික් එකේ යනවට වඩා අව්වේ යන එක හොඳයි කියල හිතනවද? බොහෝ බයිසිකල් පදින අය බයික් එකේ යද්දි ඇඳිය යුතු සම්පූර්ණ ඇඳුම් කට්ටලයක් අඳින නිසා තද හිරු එළිය සහිත කාලගුණය එච්චර සුන්දර නැහැ. හිතන්න ජැකට් එකත් ඇඳලා හැට් එකකුත් දාලා ග්ලවුස් එහෙමත් දාලා ඉන්න වෙලාවට සෙල්සියස් අංශක 34ක විතර රස්නයක් තිබ්බොත් කොහොම වෙයිද?

හෙල්මට් එකට හුළං එන ඔක්කොම වාකවුළු ටික ඇරලා ජැකට් එකෙත් ඇතුළෙ ලේයර් එක අයින් කරලා තුනී ග්ලවුස් දෙකක් පාවිච්චි කරන්න ඔයාට පුලුවන්. නැත්නම් ඔයාව ජැකට් එක ඇතුළෙම තැම්බෙන්න පුලුවන්. වැඩිය ගස් නැති පාරක වාහන තදබදයකුත් තිබ්බොත් නම් රෝස්ට් උන කුකුළෙක් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඉර දැඩිව පායලා තියෙනකොට උඩින් වගේම පොළොවත් රත් වෙන නිසා යටිනුත් රස්නය එනවා.

  • මේකත් හරියට වර්කවුට් එකක් වගේ!

මිනිස්සු හිතන්නේ ඔයාට මෝටර්බයික් එකක් තියෙන නිසා කිසිම කරදරයක් මහන්සියක් නැතුව පුදුම වේගෙකින් එහෙමෙහෙ යන්න පුලුවන් කියලද? එහෙම බයික් එකක් පැදලා අත්දැකීමක් නැති අය නම් එහෙම හිතයි. ඇත්තම කිව්වොත් මෝටර්බයික් එකක් පදින එකත් වර්කවුට් එකක් වගේ. විශේෂයෙන්ම වේගයෙන් යද්දි හුළං වලට මුහුණ දීගෙන ගමන් කරන එක ලේසි දෙයක් නෙමෙයි. තදින් බයික් එක අල්ලගෙන රේස් කරන ගමන් ගියර් මාරු කරන්න, බ්‍රේක් කරන්න වගේ දේවල් පහසු කාර්‍යයන් නෙමෙයි. වේගය වැඩි වෙන්න වැඩි වෙන්න දක්වන්න ඕන අවධානයත් වැඩි වෙනවා. ඉතින් වේගෙන යනවා කියන එක සුන්දර නම් නැහැ කොහෙත්ම.

  • වැඩේ සංකීර්ණයි!

ඔයාට බයික් එකක් තියෙනවා නම් කොහේහරි ගමනක් හරිම වෙලාවට, ලස්සනට ඇඳලා පැළඳලා ආවම කවුරුහරි අහලා තියෙනවද “ආනේ බයික් එකේද ආවේ?” කියලා. ඒත් ඇත්තටම ඔයා ආවේ බයික් එකේ නෙමෙයි. මොකද ඔයාට එහෙම නොඑන්න හේතු ගොඩක් තිබ්බා. යන ගමන ගෙනියන්න බඩු ගොඩක් තියෙනවා. ඒත් ඔයාට සිද්ධ වෙනවා බයික් එකේ කරදරයක් නැතුව ගෙනියන්න පුලුවන් පොඩි බෑග් එකට අත්‍යවශ්‍යම බඩු ටික විතරක් දාගන්න. අපහසුවක් නැතුව බයික් එකේ යන්න පුලුවන් විදියේ ඇඳුමකින් සැරසෙන්න. ඔයා කාන්තාවක් නම් ලොකු හෑන්ඩ් බෑග් එකක් ගෙනියන එක ගැනත් දෙපාරක් හිතන්න වෙනවා. මේ විදියට ලෑස්ති වෙන්න විශාල අමතර කාලයක් වැය වෙනවා. ඉතින් කැමති විදියට ඇඳගෙන කැමති තරමක් බඩු මුට්ටු අරන් කාර් එකක යන එක ලේසි නැද්ද?

බයික් එකේ ගියා කියලා හිතමුකෝ. හෙල්මට් ජැකට උස්සගෙන යන්න වෙනවා දැන්. බයික් එකේ ලොකු සැඩ්ල්බෑග්ස් සෙට් කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැතුව ඒකේ බඩු මුට්ටු දාලා යන්න පුලුවන්.

  • සමහර දේවල් වේදනාත්මකයි.

හරියට ඇඳගෙන පැළඳගෙන ගමනක් යද්දි නම් මේ ප්‍රශ්නය වැඩිය බලපාන්නේ නැහැ. ඒත් නිකමට දිග කලිසමක් නැතුව පොඩි කලිසමක් ඇඳගෙන දුර ගමනක් යන්න. හමට උඩින් ඝනකම් කුණු දූවිලි තට්ටුවක් අනිවාර්යයෙන්ම තියෙනවා. පොඩිම පොඩි ගලක් වගේ ඇවිත් වැදුණත් දැනෙන්නේ ඉඳිකට්ටකින් ඇන්නා වගේ. ජැකට්, දිග කලිසම් ඇඳන් හිටියත් මේ දේවල් වේදනාකාරියි. හිතන්නකෝ එහෙම නැතුව ඉන්නකොට කොහොම වෙයිද කියලා.එ වගේම ඉදිරි ආවරණයක් නැති හෙල්මට් එකක් හරි සන්ග්ලාස් එහෙම නොදා යන වෙලාවට දුවිලි,කුරුමිනියෝ ඇහේ යන වෙලාවල් නැත්තේමත් නෑනේ…

අපෝ බයික් පදින එක මහ එපා කරපු දෙයක් කියලද මේක කියෙව්වට පස්සේ හිතුනේ? කොහෙත්ම එහෙම නැහැ. මේ දේවල් කටුක උනාට ඒ නිසාම තමයි බයික් සහ ඒවා පදින අය විශේෂ වෙන්නේ. ඉතින් සුන්දර දේවල සහ මේ වගේ ටිකක් සුන්දර නැති යතාර්ථයන් එක්ක මෝටර්බයික් පවුලේ සාමාජික ඔයාගේ කතාවත් හැමෝම එක්ක බෙදාගන්න.

Back to top button
Close
Close