The Time Out

මෝටර්බයික් එකක් හරි විදියට ඇදගෙන යන්නේ කොහොමද?

මෝටර්බයික් කියන්නේ දිගුකාලීන වැඩ සඳහා නිර්මාණය කරන ලද වාහන ජාතියක්. මෝටර්බයික් ගැටළු විසඳීම සඳහා අපේ නිර්මාණශීලීත්වය කොතරම්ද කියලා අපිව පරීක්ෂා කරන සමහර වෙලාවල් එනවා. වඩාත් බැරෑරුම් අවස්ථාවලදී බයික් රයිඩර්ස්ලාට වෙනත් බයික් එකකින් තමන්ගේ බයික් එක ඇදගෙන යාමේ විකල්පය විතරක් ඉතිරි වෙනවා. මෙය සාපේක්ෂව සරලයි කියලා පෙනෙන්නට තිබුණත්, මහමඟදී සිදුවන අකරතැබ්බයන් වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලධර්ම කිහිපයක් තිබෙනවා.

  • වැඩේ පටන් ගන්නේ කොහොමද?

පළමුවෙන්ම, බයික් එක ඇදගෙන යාමේදී සම්බන්ධීකරණ කටයුතු රාශියක් තිබෙන නිසා ඔබ විශ්වාස කරන කෙනෙකු විසින් ඔබේ බයික් එක ඇදගෙන යාම වැදගත් වෙනවා. මේ පුද්ගලයා ඔබේ හොඳ මිතුරෙක්, ඔබත් එක්ක ගමන් යන කෙනෙක් හෝ ඔබට පාරේදී මුණගැසී විශ්වාස කළ හැකි ආකාරයේ ආගන්තුකයෙකු වෙන්න පුලුවන්. දෙවෙනි දේ නම් තත්වය හොඳ පාලනයක් යටතේ තබා ගැනීම සඳහා ඇදගෙන යාම පටන්ගන්නට කලින් යතුරුපැදිකරුවන් දෙදෙනා අතර මූලික නීති කිහිපයක් සකස් කරගැනීම වැදගත් වෙනවා. නැවැත්විය යුත්තේ කුමන අවස්ථාවලදීද, කොතරම් වේගයෙන් යා යුතුද, කුමන මංතීරුවේ සිටිය යුතුද යන්න ආදිය සඳහා සංඥා සකස් කරගන්න. අවසාන දේ නම්, එම විශ්වාසය මත කටයුතු කිරීම වැදගත් වන අතර අනෙක් රයිඩර් ඔබේ යහපත සඳහා ක්‍රියා කරන බවට හැමවෙලාවෙම විශ්වාස කරන්න. දැන් ඇදගෙන යාමේ මූලිකම කරුණු ඔබේ මනසේ තිබෙනවා, ඇත්තටම බයික් එක ඇදගෙන යාම ආරම්භ කිරීමට වෙලාවයි මේ.

  • ඔබට අවශ්‍ය දේවල්

ඇදගෙන යාම හිතන තරම් පහසු කාර්යයක් නෙමෙයි. ඔබේ කාර්යයේ සාර්ථකත්වය සහතික කරගන්න නම් කාර්යය සඳහා හරියට සූදානම් වීම වැදගත් වෙනවා. ඇදගෙන යාම සඳහා සූදානම් වන විට, ඔබ සතුව හොඳ තත්ත්වයේ ටෝ ස්ට්‍රැප්/ ඇදගෙන යාමේ පටියක් (tow strap) ඇති බවට වග බලා ගත යුතුයි. ටෝ ස්ට්‍රැප් සාමාන්‍යයෙන් පැතලි හා පළල වන අතර දිග මීටර් 4-5ක් පමණ වනවා. ඇදගෙන යාමේ පටියක් තිබීමට අමතරව, ඔබේ යතුරුපැදිය ඇදගෙන යා හැකි බවටත් වග බලා ගැනීමද වැදගත්. ඔබ අනතුරකින් පසු හෝ බයික් එකේ ලොකු ෆේලියර් එකකින් පසුව ඇදගෙන යාම ගැන සිතා බලනවා නම්, බයික් එක නැවතත් පාරේ ඇදගෙන යාමට තරම් හොඳ තත්ත්වයේ පවතින බව සහතික කරගන්න. මෙයින් අදහස් කරන්නේ නැමුණු රෝද, හුළං ගිය ටයර්, චැසියේ ඉරිතැලීම් ආදියෙන් තොර බවට සහතික කර ගැනීමයි.

  • ගමන් මාර්ගය සැලසුම් කිරීම

වැඩේට හරියටම ගැළපෙන පාරක් හොයාගන්න එක, හොඳ හේතු කිහිපයක් නිසාම වැදගත් වෙනවා. කලින් දන්නා හුරුපුරුදු පාරක් වීම, ට්‍රැෆික් නැති වීම/ අඩු වීම,   මඟ දිගේ ආරක්ෂිත නැවතුම් බහුලවීම ආදී හේතු නිසා මුලින්ම, යතුරුපැදි කරුවන් දෙදෙනාටම (ඇදගෙන යන තැනැත්තා සහ අනිත් බයික් එකේ යන තැනැත්තා) නිශ්චිත මාර්ගයක් ඔස්සේ ගමන් කිරීම පහසු විය යුතුයි. අධිවේගී මාර්ගයක හෝ ප්‍රධාන මාර්ගයක ගමන් කිරීමෙන් වැළැකීමට උත්සහ කරන්න. මොකද වෙනත් වාහන රියදුරන් වැඩි වේගයකින් ගමන් කරන අතර ඇදගෙන යාමෙන් සාමාන්‍ය ජනතාවට අනතුරක් වීමේ ඉඩකඩ වැඩියි. ඇදගෙන යාමේ කාර්යය හැකිතාක් පහසු කරගැනීම සඳහා දැඩි කඳු සහ බෑවුම් සහිත පාරවල්, වැඩි ට්‍රැෆික් සහිත පාරවල් වළක්වා ගැනීමට උත්සහ කරන්න.

  • ඇදගෙන යාම ආරම්භ කරන්න

ඇදගෙන යාම ආරම්භ කරන විට, පළමු හා වැදගත්ම කාර්යය වන්නේ බයික් දෙකට හරි විදියට ටෝ ස්ට්‍රැප් එක සම්බන්ධ කිරීමයි. අනුගමනය කළ යුතු පොදු මූලධර්මය නම්, ටෝ ස්ට්‍රැප් එක පාරේ දිශාවට සමාන්තරව තබා ගැනීමයි. ටෝ ස්ට්‍රැප් සවි කිරීමේදී වඩාත් හොඳින් ක්‍රියා කළ හැකි ඔප්ශන්ස් දෙකක් තිබෙනවා. පළමුවැනි එක නම් ෆුට් පෙග් (Footpegs) භාවිතා කිරීමයි. ඉදිරියෙන් සිටින බයික් රයිඩර්ට ටෝ ස්ට්‍රැප් එකේ එක් කෙළවරක් එක් ෆුට්පෙග් එකකට බැඳ තැබිය හැකි අතර, පිටුපස බයික් එකේ රයිඩර්ට ස්ට්‍රැප් එකේ අනෙක් කෙළවර, ඉදිරිපස බයික් එකේ ගැටගසන ලද ෆුට්පෙග් එකට ප්‍රතිවිරුද්ධ පැත්තේ ෆුට්පෙග් එකේ බැඳ තැබිය යුතුයි. මෙයින් අදහස් කරන්නේ ඉදිරිපස බයික් එකේ වම්පස ෆුට්පෙග් එක ගැටගැසීමට භාවිතා කරනවා නම්, පිටුපස බයික් එකේ දකුණු පැත්තේ ෆුට්පෙග් එක ගැටගැසීමට භාවිතා කළ යුතු බවයි. ඒ වගේමයි පිටුපස බයික් එක මීටර කිහිපයක් පිටුපසින් පැමිණිය යුතුයි.

අනිත් විකල්පය වෙන්නේ ඉස්සරහින් යන බයික් එකේ පිටිපස්සෙන් ටෝ ස්ට්‍රැප් එක ගැටගසා, පිටුපස බයික් එකේ ඉස්සරහ කොටස (T පෝස්ට් එක) හරහා ස්ට්‍රැප් එක සම්බන්ධ කිරීමයි. ස්ට්‍රැප් එක වුවමනාවට වඩා තදින් සවි කරන්න එපා. මේ ආකරයට හදිසි අවස්ථා වලදී, පිටුපස බයික් රයිඩර්ට එක අඩියක්වත් යාමට ඉඩ දෙන්න පුලුවන්, නැතහොත් ඇදගෙන යාම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම සඳහා හැන්ඩ්ල් ග්‍රිප් එක මුදා හරින්න වුණත් පුලුවන්. බයික් දෙකේම යන දෙදෙනාගේම ආරක්ෂව ගැන වග බලා ගැනීම සඳහා මෙය අත්‍යවශ්‍යයි.

  • ඇදගෙන යාම පවත්වාගෙන යෑම

ඉහත සියල්ල හරි ආකාරයට තෝරා බේරා ගත් පසු, දැන් කරන්න තියෙන්නේ ආරක්ෂිතව ගමනාන්තය තෙක් ඇදගෙන යාම සිදු කිරීමයි. ටෝ ස්ට්‍රැප්ස් නිරන්තරයෙන් ටෙන්ශන් එක සහිතව තබාගෙන යා යුතු බව, තවත් මතක තබා ගත යුතු වැදගත්ම දෙයක්. ටෝ ස්ට්‍රැප්ස්වල ටෙන්ශන් එක නැතිවී ගියහොත්, ඉදිරිපස හෝ පිටුපස බයික් එකක සිදුවන ඕනෑම හදිසි චලනයක් නිසා යතුරුපැදි දෙකම ඉදිරිපසට/ පසුපසට හෝ දෙපැත්තට තල්ලු වීමට හේතු වෙනවා. ඉස්සරහ බයික් එකේ වැඩ කරන එන්ජිමක් ඇති අතර පිටුපස බයික් එකේ එන්ජිම වැඩ කරන්නේ නැති නිසා, හොඳ ටිප් එකක් විදියට පිටුපස ඇති බයික් එකේ බ්‍රේක් වරින් වර සැහැල්ලුවෙන් තද කරන්න ඔබට පුලුවන්.

ට්‍රැෆික් හරහා ගමන් කරන විට, ඉදිරිපස බයික් එක තමන්ට ඉදිරිපසින් හොඳ ඉඩ ප්‍රමාණයක් පවත්වා ගත යුතු අතර, ටෝ ස්ට්‍රැප්ස් ටෙන්ශන් එක නැවත ලබාගෙන බයික් එක ඉදිරියට ගෙනයාමට ප්‍රමාණවත් ඉඩක් තිබිය යුතුයි. ටෝ ස්ට්‍රැප් එකේ ටෙන්ශන් එක තියෙන බව සහ ආරක්ෂිත වේගයෙන් ගමන් කරන බව හැමවෙලාවෙම බයික් දෙකේම රයිඩර්ස්ලා සහතික කරගත යුතුයි. මේ සියල්ලක් වගේම, මේ වගේ හදිසි අවස්ථාවන්වල සන්සුන්ව කටයුතු කරන්නත් අමතක කරන්න එපා!

Back to top button
Close
Close