Maintenance

හෙල්මට් එකක් පේන්ට් කරන්න දන්නවද?

පරණ බයික් එකක් හොඳට හදලා ගන්න ක්‍රියාදාමය ඇතුළේ ඒ බයික් එකේ චැසිය, පැනල් එක වගේ දේවල් අලුතෙන් පේන්ට් කරන එක ඇතුළත් වෙනවා. ඒත් සමහර අය එතනින් නවතින්නේ නැහැ. බයික් එක විතරක් නෙමෙයි, බයික් එකට සම්බන්ධ අනෙකුත් අංග උපාංග වලටත් වෙනස්කම් කරනවා. හරියට ලෙදර් ජැකට් එකට අලුතෙන් කෑලි එකතු කරන එක එහෙම නැත්නම් හෙල්මට් එක පේන්ට් කරන එක වගේ දේවල් මේකට අයිතියි. බයිසිකලයට ගැළපෙන විදියට අයිතිකරුවාගේ ආශාව අනුව මේ වගේ දේවල් කරන්න පුලුවන්. හැබැයි කලින් කියපු දේවල් කරන්න නම් හොඳ හැකියාවක් වගේම හොඳ ඉවසීමකුත් ඕනේ වෙනවා. සුබ ආරංචිය තමයි මේ වැඩ වලට ඕන කරන මූලික උපාංග ටික ( ස්ප්‍රේ ගන්, එයාර් බ්‍රශ්, පොලිශර්) තියෙනවා නම් සාමාන්‍ය හෙල්මට් එකක් ඔයා කැමතිම විදියට ඔයා ආස විදියට වෙනස් කරලා, අනිත් කාගේ ළඟවත් නැති ඩිසයින් එකක හෙල්මට් එකක් කරන්න පුලුවන්.

වෙළෙඳපොළේ එක එක ස්ටයිල් වලින්, ඩිසයින් වලින්, පාට වලින් වගේම එක එක මිල පරාසවල හෙල්මට් දකින්න පුලුවන්. තනි කළු හෝ තනි සුදු හෙල්මට් මිලෙන් සාපේක්ෂව අඩුයි වගේම තමන්ට ඕන විදියට හෙල්මට් එක ඩිසයින් කරන වැඩේ පටන් ගන්නත් මේ වගේ තනි පාටක හෙල්මට් එකක් හොඳටම ගැළපෙනවා. වැඩේ පටන් ගන්න කලින් කරන්න ඕනේ වැදගත්ම දේ තමයි අපි පාවිච්චි කරන්න යන්න පේන්ට්, කෙමිකල් වගේ දේවල් නිසා හෙල්මට් එකේ බේස් එකට හානි වෙනවද කියල හෙල්මට් එක නිෂ්පාදනය කරපු සමාගමෙන් අහල ඉන්න එක.

01. සූදානම් වීම.

වැඩේ පටන් ගන්නේ වැඩ පරිසරය සකස් කරගන්න එකෙන් සහ ඕන කරන බඩු බාහිරාදිය සූදානම් කරගන්න එකෙන්. වැඩ කරන්න යන තැන දූවිලි නැති වියළි තැනක් වෙන්න ඕනේ. ස්ටයිරෆෝම් වලින් හදපු ඩමි ඔලුවකට හෙල්මට් එක බස්සලා සාමාන්‍යයෙන් වැඩ කරන්න පුලුවන් උස මට්ටමක බංකුවක්/ මේසයක් උඩින් හෙල්මට් එක තියාගන්න. ඔයා තෝරගත්ත හෙල්මට් එක ෆුල් ෆේස් හෙල්මට් එකක් නම් වයිසරය සහ පොඩි පොඩි ප්ලාස්ටික් කෑලි ටික ගලවලා අයින් කරන්න. වැඩේ ඉවර වෙලා ඒ ටික ආයෙත් සෙට් කරන්න තියෙන්නේ.

පළමු පියවර තමයි ඩිශ්වොශ් එකක් හරි ඩිටර්ජන්ට් පවුඩර් ටිකක් හරි පාවිච්චි කරලා හෙල්මට් එකේ මතුපිට පිරිසිඳු කරගන්න එක.

ඊටපස්සේ කරන්න තියෙන්නේ ග්‍රීස් රිමූවර් එකක් හරි වැක්ස් එකක් හරි ගාන එක. මිනිසුන්ට අහිතකර විදියේ සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැති රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් නම් විතරක් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න.

අපේ අත්වල ග්‍රීස් වගේ දේවල් ඉතාමත් ලේසියෙන්ම තැන්පත් වෙනවා. ඒක නිසා ලැටෙක්ස් ග්ලව්ස් වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. ඩිග්‍රීස් කරාට පස්සේ කරන්න තියෙන වැඩේ තමයි වැලි කඩදාසියකින් (400 ශ්‍රේණියේ නම් වඩා හොඳයි) අලුත් බේස් පේන්ට එකට ගැළපෙන විදියේ මතුපිටක් නිර්මාණය කරගන්න එක. හෙල්මට් එකේ සම්පූර්ණ මතුපිටම වැලිකඩදාසියෙන් මැදදට පස්සේ දූවිලි කුඩු නැති වෙනකන් හොඳට පිහදාන්න ඕනේ.

02. ඩිසයින් කිරීම.

දැන් මුලින්ම කරන්න තියෙන්නේ ආවරණය කරන්න ඕන තැන් ටික ආවරණය කරන එක. ප්‍රින්ට් උන දේවල් නැති පැහැදිලි කොළවලින් වහලා අඟල් ⅛ විනිල් ටේප් පාවිච්චි කරානම් නැවුණු අස්සක් මුල්ලක් උනත් කරදරයක් නැතුව වහන්න පුලුවන්. බේස් පේන්ට් එක, එහෙම නැත්නම් පළවෙනි පේන්ට් ලේයර් එක දැන් ගාන්න පුලුවන්. ආයෙත් පේන්ට් එකක් ගහන්න කලින් කරන්න ඕන වැදගත්ම දේ තමයි මුලින්ම ගාපු පේන්ට් එක වේළෙනකන් ඉන්න එක.

දැන් ඔයාට පුලුවන් කැමති ඩිසයින් එකක් කරන්න. ඔයා ඉවසිල්ලෙන් පිළිවෙලට මාස්කින් ටේප් ගහන වැඩේ කරන තරමට වැඩේ ලස්සනට ඉවර කරන්න පුලුවන්.

03. විවිධ පාටවලින් පාට කිරීම.

බේස් පේන්ට් එකේ වැඩේ ඉවර නිසා දැන් පුලුවන් හිතේ තියෙන ඩිසයින් එකේ විදියට හෙල්මට් එක පාට කරන්න. ඔයාට පාට කරන්න ඕනේ කොටසේ අලවපු කොළේ විතරක් ගලවලා ඕන විදියට පේන්ට් කරන්න තියෙන්නේ. ඊටපස්සේ ඒක වේලෙන්න තියලා ආයෙත් කොළයක් අලවන්න ඕනේ. මේ වගේ ඔයාට ඕන හැමතැනක්ම ඕන ඕන පාටවලින් පේන්‍ට් කරන්න.

04. අන්තිම ආලේපය.

පාට කරලා ඉවර උනාට පස්සේ ඉතාමත් පරිස්සමෙන් අල්වපු කොළ ටික ගලවලා අයින් කරන්න ඕනේ. කොළ ගලවද්දි පේන්ට් එක ගැලවිලා එන්නේ නැති වෙන්න වග බලාගන්න. අන්තිම ආලේපය විදියටවාහන වලට ගාණ මැට් ක්ලියර් 2ක් පේන්ට් එකක් (2K Clear coat) ආලේප කරන්න ඕනේ. ගාන තීන්ත ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න තීන්ත තියෙන ගැඹුර වැඩිවෙනවා. පැය 12-24 ඇතුළත මේක වේළෙනවා. හරියට සමතලා වෙලා නැති තැන් 1500-2000 වගේ වැලි කඩදාසියකින් පොඩ්ඩක් මදින්න. වැලි කඩදාසි වලින් හානි උන තැන් වලට වැක්ස් ටිකක් ගාන්න.

05. නැවත සවි කිරීම.

මුලින්ම ගලවලා අයින් කරපු කෑලි ටික අමතක කරන්න බැහැ. පේන්ට් එකයි ක්ලියට් කෝට් එකයි වේළිලා ගියාට පස්සේ හෙල්මට් එක තිබ්බ තත්ත්වෙටම ගන්න පුලුවන්. තමන්ට කැමති විදියේ හෙල්මට් එකක් ඩිසයින් කරගන්න එක ටිකක් මහන්සි වෙලා ශ්‍රමය වැය කරලා කරන්න ඕනේ දෙයක් උනාට වැඩේ හරියට මහන්සිවෙලා කරොත් දකින දකින කෙනා ඔයාගේ හෙල්මට් එක වර්ණනා කරන එක ඔයාටවත් නවත්තන්න බැහැ.

Back to top button
Close
Close