Maintenance

චේන් එක නඩත්තු කරන හරි විදිය දන්නවද?

මෝටර් බයිසිකලයක් පරිස්සමෙන් පදින්න බලපාන දේවල් කිහිපයක් තමයි රෝද නඩත්තුව, ඔයිල් මාරු කරන එක සහ චේන් එක නඩත්තු කරන එක. වැඩිය කතා උනේ නැති උනාට චේන් එක කියන්නේ බයිසිකලයේ ඉතාම බරපතල වැඩ කොටසක් කරන අංගයක්. චේන් එකේ මූලිකම කාර්‍යභාරය තමයි එන්ජින් එක මඟින් නිපදවන බලය පසුපස රෝදයට රැගෙන යන එක. ඉතින් මේ වැදගත් චේන් එක ගැන හරි අවධානයක් යොමු කරේ නැත්නම් චේන් එක හිර වෙන එකේ ඉඳන් භයානක අනතුරක් දක්වා කරදර වෙන්න පුලුවන්කමක් තියෙනවා. ඔයා බයික් එක පදින විදිය එක්ක චේන් එකට දක්වන්න ඕනේ සැළකිල්ල වෙනස් වෙනවා. සැතපුම් 500-700 ට වරක් හරි මාස දෙකෙන් දෙකට හරි චේන් එක පරීක්ෂා කරලා බලන්න ඕනේ. චේන් එක පරීක්ෂා කරන ආකාරය, පිරිසිඳු කරන ආකාරය සහ ඇජස්ට් කරන ආකාරය පිළිබඳ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

  • චේන් නඩත්තුවට අවශ්‍ය දේවල්

පහත දැක්වෙන දේවල් තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ,

  • විවිධ ඉස්කුරුප්පුනියන
  • මෘදු බුරුසුවක් හෝ පරණ දත් බුරුසුවක්
  • O-ring ආකාරයේ චේන් පිරිසිඳුකරණයක්
  • කොටර් පින් එකක් (චේන් එකේ ටෙන්ශන් වෙනස් කිරීමට)
  • පාන්කඩ/ රෙදි කැබලි (චේන් එකේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට)
  • රබර් අතකොළුවක් (අත්‍යවශ්‍යම නොවේ)
  • රියර් වීල් ස්ටෑන්ඩ් එකක්  (අත්‍යවශ්‍යම නොවේ)
  • ටේප් එකක්  (අත්‍යවශ්‍යම නොවේ)
  • චේන් එක පරීක්ෂා කරන්නේ කොහොමද?

ටේප් එකකින් මැනලා හරි ඇහෙන් ගන්න මිම්මකින් හරි ඉස්සරහ සහ පිටුපස ස්ප්‍රොකට් අතරින් චේන් එකේ මැද හොයාගන්න. ඊටපස්සේ එතනින් චේන් එක උඩට සහ පහළට අදින්න. චේන් එක අඟලක් වගේ උඩට සහ පහළට යන්න ඕනේ. බයික් එක රියර් ස්ටෑන්ඩ් එකක හරි සෙන්ටර් ස්ටෑන්ඩ් එකක හරි නම් තියෙන්නේ මේ විදියට ඇදෙන ප්‍රමාණය වෙනස් වෙනවා. මෝටර්බයික් චේන් එක සමහරක් තැන්වලින් තද වෙන්න පුලුවන් නිසා රෝදය කරකවන ගමන් සම්පූර්ණ චේන් එකම පරීක්ෂා කරන එක ඉතාම වැදගත්. චේන් එක අඟලකට වඩා එහෙ මෙහෙ වෙනවා කියන්නේ චේන් එක තද කරන්න ඕනේ කියන එකයි. චේන් එක තද වැඩියි වගේ නම් ලූස් කරන්න වෙනවා. චේන් පුරුක් තද වෙලානම් සමහරවිට චේන් එකම මාරු කරන්න වෙන්නත් පුලුවන්.

  • ස්ප්‍රොකට් චෙක් කරන්න.


ස්ප්‍රොකට් එහෙමත් නැත්නම් චේන් එක සම්බන්ධ වෙලා තියෙන දැති රෝදවල ස්වභාවයත් චේන් එකට තදින්ම බලපානවා. දැති හොඳින් පරීක්ෂා කරලා බලන්න චේන් එක හරියට ක්‍රියා කරනවද කියලා. දැති ගෙවිලා ගිහින් නම් උල් හැඩය නැතුව රැලි ගැන්විලා නම් ස්ප්‍රොකට් මාරු කරන්න අවශ්‍ය වෙනවා.

  • චේන් එක පිරිසිඳු කරන්න.

චේන් එක ඇජස්ට් කරන්න උවමනා උනත් නැතත් චේන් එක පිරිසිඳුව තියාගන්න එක නම් අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේමයි ලුබ්‍රිකේශන් මට්ටමත් හරියට තියාගත්‍තම අනවශ්‍ය ඝර්ෂණය නැති වෙනවා. අලුත්ම බයික්වලට එන o-ring මාදිලියේ චේන් වල තියෙන ප්ලාස්ටික් කොටස් සමහර රසායනික ද්‍රව්‍ය වලට ඉතාම සංවේදීයි. ඒ නිසා අනුමත වර්ගයක උසස් තත්ත්වයේ පිරිසිඳුකාරකයක් භාවිතා කරන්න. දත් බුරුසුවක් භාවිතා කරලා පිරිසිඳුකාරකය චේන් එකටයි ස්ප්‍රොකට් වලටයි දාන්න පුලුවන්.

  • දැළිකුණු ආදිය පිරිසිඳු කරන්න.

දැන් කරන්න තියෙන්නේ මෘදු රෙදි කඩකින් අනවශ්‍ය දැළිකුණු ආදිය පිරිසිඳු කරන එක. මතුපිට පිරිසිඳු වෙනවා වගේම ලුබ්‍රිකන්ට් වලට හිතකර මතුපිටකුත් මෙමඟින් ඇති වෙනවා. චේන් එකේ හැම පුරුකක්ම සහ ස්ප්‍රොකට් එකේ දැති හැම එකක්ම එකින් එක පිරිසිඳු කරන්න. කිසිම වෙලාවක එන්ජින් එක ඔන් කරලා රේස් කරන ගමන් චේන් එක පිරිසිඳු කරන්න එපා. එන්ජින් එක ඕෆ් කරලා නියුට්‍රල් ගියර් එකේ තියලා අතින් රෝදය කරකවන එක තමයි වඩාත්ම ආරක්ෂිත සහ සුදුසු වෙන්නේ.

  • චේන් එක ලුබ්‍රිකේට් කරන්න.

රෝදය කරකවන ගමන් චේන් එකට සහ ස්ප්‍රොකට් වලට සමාන ආකාරයෙන් ලුබ්‍රිකන්ට් ස්ප්‍රේ කරන්න. ස්ප්‍රොකට් එකේ පහළ කොටසත් මඟ හරින්නේ නැති වෙන්න වග බලාගන්න. වැඩේ ඉවර උනාම රෙදිකඩකින් වැඩිපුර තියෙන ලුබ්‍රිකන්ට් ටික පිහදාන්න.

  • අවශ්‍ය නම් චේන් එකේ ටෙන්ශන් එක වෙනස් කරන්න.

ඉදිරිපස සහ පිටුපස ස්ප්‍රොකට් අතර දුර චේන් එකේ ටෙන්ශන් එක තීරණය කරන්නේ. මේක හොයාගන්න ලේසි වෙන විදියේ සළකුණු ගොඩක් බයික්වල තියෙනවා. බයික්වල චේන් ටෙන්ශන් එක වෙනස් කරන විවිධ ආකාර තියෙනවා. සාමාන්‍ය ආකාරය නම් පිටුපස ඇක්සල් එක සහ රෝදය ඉදිරියට හෝ පිටුපසට කරමින් ටෙන්ශන් එක වෙනස් කිරීමයි. සාමාන්‍යයෙන් සින්ගල් සයිඩඩ් ස්වින්ග්ආර්ම්ස්වල පිටුපස ඇක්සල් එකේ ස්ථානය වෙනස් කරන්න විකේන්ද්‍රික කැම් එකක් තියෙනවා. එහෙම නැති අනෙකුත් සාම්ප්‍රදායික ඩිසයින් වල ඇතුළත ෂඩාස්‍රාකාර හිසැති නට් වලින් ඇක්සල් එක එහා මෙහා කරන්න පුලුවන්. ඇක්සල් එක ලොක් කරන්නත් මේ වගේ නට් එකක් පිටතින් තියෙනවා.  චේන් එකේ ටෙන්ශන් එක හරිම විදියට සැකසුවා නම් චේන් එක ලූස්ම තැනින් අඟල් 0.75-1 දක්වා පරාසයකට උඩට පහළට කරන්න පුලුවන්.

  • පිටුපස ඇක්සල් එක තද කරන්න

පිටුපස ඇක්සල් එක තද කරන්න කලින් ඇක්සලය එහෙ මෙහෙ කරාට පස්සේ ඇක්සල් එකේ දෙපැත්තම සමාන්තරව තියෙනවද කියල බලන්න. මේ දෙක හරියට අලයින් උනේ නැත්නම් චේන් එක සහ ස්ප්‍රොකට් වේගයෙන් ගෙවිලා යන්න පුලුවන්. ඇක්සල් නට්ස් එක සමානව තද කරලා කොටර් පින් එකට අලුත් පින් එකක් දාන්න.

Back to top button
Close
Close