The Time Out

කොරෝනා Vs Bikers!

  • මොකක්ද මේ කොරෝනා?

කොරෝනා එහෙමත් නැත්නම් Covid19 යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් ‘පවුලක’ අලුත්ම සාමාජිකයා. ඒත් මේ වන විට පැතිරී යන නව කොරෝනා වෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නැහැ. මෙවැනි වෛරසයක් ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුලුවන්. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදුවෙන්න ඉඩ තියෙනවා.

  • කොරෝනා බෝ වෙන්නේ කොහොමද?

පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය බෝ වෙන්නේ කොහොමද කියලා තාම හරියටම හඳුනාගෙන නැහැ. ඒත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ, කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටය හෝ සෙම් මගින්. ඒවගේමයි ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබෙන්න පුලුවන්  අතර, එහි ඇති වෛරසය දින ගණනාවක් ක්‍රියාකාරීව පවතින බව විශේෂඥයෝ කියනවා.

  – රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න කොච්චර කල් යනවද?

වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. ඒත් ඇතැම් පර්යේෂකයින් කියන විදියට රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වෙන්න පුලුවන්.

  • වැඩි අවදානමක් තියෙන්නේ කාටද?

රෝගය වැළඳීමේ වැඩි අවදානමක් තියෙන්නේ වයස්ගත පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය. ඒත් තරුණ අයට සහ නිරෝගී අයට මේ රෝගය වැළඳෙන්නේ නැහැ කියලා මේකෙන් කියවෙන්නේ නැහැ.

චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවයි. අධි රුධිර පීඩනය, පෙනහලු දුර්වලතා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට මෙම වෛරසයේ බලපෑමෙන් එම රෝගී තත්ත්වය උත්සන්න වීමට ඉඩ තියෙනවා.

 

  • කොරෝනා සහ bike riders

ලෝක අර්බුදයක් වෙලා තියෙන මේ වෛරසය නිසා බයික් පදින අපිට ටිකක් වැඩියෙන් පරිස්සම් වෙන්න වෙනවා. කිවිසුම් යන එක, ඛේටය එහෙමත් නැත්නම් කෙළ වලින් බෝවෙන්න ලොකු ඉඩක් තියෙන මේ වෛරසය නිසා විශේෂඥයෝ දෙන සරලම උපදෙස තමයි නිතරම සබන්/ විසබීජ නාශක යොදා අත් සෝදන්න කියන එක. මොකද ඇස්, කන්, නාසය සහ කට වගේ අපේ ශරීරයේ විවරයන් වලින් මේ වෛරසය අපේ ශරීරවලට ඇතුල් වෙන්න පුලුවන්. හැකිතාක් සාමුහිකව එකතු වීමෙන් වළකින්න කියලත් ශ්‍රී ලංකා රජය මහජනතාවට උපදෙස් දීලා තියෙනවා.

ඒත් අපේ ජීවිතවල සමහර අවස්ථා තියෙනවා වළක්වගන්නම අමාරු විදියේ. බයික් එකේ තව කෙනෙක්ව දාගෙන යනකොට, හෙල්මට් එක බයික් එක තව කෙනෙක්ට පාවිච්චි කරන්න දෙනව නම් වගේ දේවල් වලදී මේ දවස්වල විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ දේවල් ටිකක් පහළින් තියෙනවා.

  • නිතර ම දෙඅත් සබන් ගා හොඳින් සෝදා ගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. විශේෂයෙන්ම බයික් එකේ ගමනක් ගිහින් ආවම මුහුණ අල්ලන්න කලින් හොඳට සබන් ගාලා පිරිසිඳු වෙලා ඉන්න.
  • දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක්/  විශබීජ නාශක (hand gel) වුව ද භාවිත කරන්න පුලුවන්.
  • බයික් එකේ ගමන් කරද්දි මුහුණ ආවරණයක් / face mask එකක් පාවිච්චි කරන්න.
  • තවත් කෙනෙක් එක්ක (passenger) බයික් එකේ ගමන් කරනවා නම් දෙදෙනාම මුඛ ආවරණ (face mask) පැළඳගෙන ගමන් කරන්න. දෙදෙනාගේ ස්පර්ශයන් අවම කරගෙන රෝගයට නිරාවරණය වෙන්න තියෙන ඉඩ අඩු කරගන්න.
  • කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගත යුතුයි. හෙල්මට් එක වෙන කෙනෙක්ට නොදී ඉන්න උත්සහ කරන්න. ඔයාගෙන් අනිත් අයටත්, අනිත් අයගෙන් ඔයාටත් ලෙඩේ බෝවෙන්න තියෙන ඉඩ මේ නිසා අඩු වෙනවා.
  • භාවිතයෙන් පසු ටිෂූ කඩදාසි ක්‍රමානුකූලව ඉවත දැමිය යුතු වෙනවා.
  • ටිෂූ කඩදාසි නොමැති අවස්ථාවක වැළමිට නවා අතේ උඩ කොටසෙන් මුහුණ ආවරණය කර කැස්ස හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුය.
  • නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය!
  • ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකී සිටිය යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතුය. පුලුවන් තරම් ඔයාගේ ගමන් බිමන් අඩු කරන්න. පාටි වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න. හැමෝගෙම යහපත වෙනුවෙන් පොඩි කැප කිරීමක් කරන එකෙන් මුළු රටටම හොඳක් වෙන්නේ.
  • ඔයාගේ පෞද්ගලික පාවිච්චියට තියෙන face mask, gloves, helmet වගේ දේවල් මේ දවස්වල අනිත් අයට පාවිච්චි කරන්න දෙන්න එපා.

මීට අමතරව ආහාර සම්බන්ධයෙන් පල්ලෙහා තියෙන උපදෙස් පිළිපදින්නත් අමතක කරන්න එපා.

  • මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය.
  • වන සතුන්ගෙන් මෙන් ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
  • මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.

රෝග ලක්ෂණ පහළ වූ විට කුමක් කළ යුතුද?

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, අදාළ රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවයි. වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයං හුදෙකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (PHE)පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකෙනවා.

 

එන්නත් මගින් කොරෝනා ආසාදනය වැළැක්විය හැකි නමුත් මේ මොහොතේ අනුගමනය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සනීපාරක්ෂාවයි. මේ වන විට කොරෝනාවෛරස ආසාදිතයන්ට විවිධ ප්‍රතිවෛරස ඖෂධ අත්හදා බලන නමුත් මේ කිසිවක් සාර්ථක වේදැයි නිශ්චිතව කියන්න අමාරුයි.

අපි මේ කිව්වේ සරලම කරුණු සහ උපදෙස් කිහිපයක්. ඉතින් අපි හැමෝම ලොකු අවදානමකට මුහුණ දීලා ඉන්න වෙලාවක ඔයාගේ යුතුකම් වගකීම් හරියට ඉටු කරොත් අපිට එකතු වෙලා රටක් විදියට මේ කොරෝනා මාරයව පරද්දන්න පුලුවන්. හැමවෙලාවෙම හරි තොරතුරු විතරක් අනිත් අය එක්ක බෙදාගන්න මතක තියාගන්න. ඔයාගේ බයික් පදින අනිත් යාලුවන් එක්කත් මේ පණිවිඩය බෙදාගන්න.

 

Tags
Back to top button
Close
Close