The Time Out

අලුත්ම BMW S1000RR ගැන දන්නවද?

Isle of Man TT Mountain Course ධාවන පථයේ රේස් එකක් පදින එක ගොඩක් බයික් රයිඩර්ස්ලගේ හීනයක්. ලෝකේ තියෙන මිල අධිකම වේගවත්ම බයික් වලින් එකක මේ ධාවන පථයේ වටයක් යන්න හම්බුනොත්? ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි හැබැයි. අවුරුදු 4කට කලින් BMW සමාගම ලෝකෙම කතා වෙන විදියේ මෝටර් බයික් එකක් හදන ප්‍රොජෙක්ට් එක ආරම්භ කරා. මේ අලුත් බයික් එක කලින් බයික් වලට වඩා එක තත්පරයක් කලින් තරඟ නිමා කරන්න පුලුවන් හැකියාව තියෙනවා වගේම කිලෝග්‍රෑම් 10කින් බරත් අඩු වෙලා නිසා ඉතාම පහසුවෙන් පාලනය කරගන්න පුලුවන්. හැබැයි Ducati, Aprilia, Kawasaki, Suzuki, Honda සහ Yamaha වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් BMW S1000RR බයික් එකට තරඟ කරන්න පුලුවන්ද? මේ බයික් එකේ හොඳ පැත්ත නරක පැත්ත මොන වගේද කියලා අපි බලමු.

BMW සමාගමේ බයික් වල ගමන වෙනස් කරපු පළවෙනි S1000RR බයික් එක එළි දැක්වුණේ මීට අවුරුදු 10කට කලින්. හැමෝගෙම තේරීම වෙයිද කියලා සැක සහිත ටිකක් අසාමාන්‍ය විදියේ හෙඩ්ලයිට් සෙට් එකක් එක්ක එන  2019 මොඩ්ල් එක අයිති වෙන්නෙ තුන් වෙනි පරම්පරාවට. පෙනුම විතරක්ම නෙමෙයි, එන්ජින් එක, ෆ්‍රේම් එක, සස්පෙන්ශන්ස් සහ ඉලෙක්ට්‍රොණික් අංග උපාංග හැමදේම අප්ඩේට් උන වර්ශන් එකක් තමයි BMW S1000RR 2019 කියලා කියන්නේ.

  • පාට

ඔයා තෝරගන්න මාදිලිය එක්ක මේ බයික් එක පාට දෙකකින් සමන්විත වෙනවා. රේසින් රෙඩ් සහ සම්ප්‍රදායික ධාවන පාට වන නිල්, රතු සහ සුදු මිශ්‍රණයක් යන තෝරාගැනීම් දෙක තමයි තියෙන්නේ. අනාගතයේ තව පාට කිහිපයකින් වෙළෙඳපොළට නිකුත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන් උනාට දැනට තියෙන්නේ මේ ඔප්ශන්ස් දෙක තමයි.

  • බලය

මේ බයික් එකේ උපරිම බලය ගැන කතා කරනවා නම් rpm එක රතු කට්ටටම ගිහින් 13,500 rpm දී 152 kW සිට 203.8bhp දක්වා අගයක් වෙන බලයක් නිපදවනවා. 2018 මොඩ්ල් එකට වඩා මේ අගය 8 bhp (6 kW)ක වර්ධනයක්. ටෝර්ක් එක නම් කලින් මොඩ්ල් එකෙන් ලොකු වෙනසක් නැතුව 83.3 lb-ft (113 Nm) අගයම තමයි වෙන්නේ. 999cc එන්ජිමකින් සන්නද්ධ මේ දැවැන්තයා ගියර් 6කින් සමන්විත ගියර් සිස්ටම් එකක් එක්ක ටෙස්ට් රයිඩ් වලදී 285kph (177 mph) වේගයක් ළඟා කරගෙන තියෙනවා.

  • එන්ජිම සහ ගියර් පද්ධතිය

අලුත් BMW S1000RR 2019 මොඩ්ල් එක නිර්මාණය කරද්දී සමාගමේ මූලිකම අරමුණු දෙක වෙලා තිබුණේ අඩු බර සහ වැඩි වේගය කියන කරුණු දෙක. ඉතින් මේ අලුත් එන්ජින් එකෙන් වැඩ දෙකම කරගන්න BMW සමාගමට පුලුවන් උනා. එන්ජින් එකෙන්ම බර කිලෝග්‍රෑම් 4ක් අඩු කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ‘ShiftCam’ වෑල්ව් තාක්ශණය නිසා පර්ෆෝමන්ස් වැඩි වෙලා තියෙන අතරෙම ඉන්ධන කාර්යක්ෂමතාවයත් සෑහෙන්න වැඩි වෙලා. ලොව පළමු වතාවට භාවිතා වුණු hollow-bored titanium වෑල්ව් සහ speed resistant rocker arms වලින් බයික් එකේ පර්ෆෝමන්ස් වෙනම ලෙවල් එකකට අරන් යන්න සමාගම සමත් වෙලා තියෙනවා.

ගියර් පද්ධතියත් කලින් කිව්වා වගේ ගියර් 6කින් සමන්විත ව්‍යාකූලතා අවම, නවීනතම ගියර් පද්ධතියක්. හැබැයි මේ ගියර් පද්ධතිය නම් අනෙක් තරඟකාරී බයික්වල ගියර් පද්ධති තරම්ම හොඳයි කියන්න අමාරුයි.

  • හැන්ඩ්ලින්, සස්පෙන්ශන්, චැසිය සහ බර

බර කලින්ට වඩා කිලෝග්‍රෑම් 14.5කින් අඩු වෙලා තියෙන නිසා මේ බයික් කාණ්ඩයේ තියෙන සැහැල්ලුම බයික් එක බවට BMW S1000RR 2019 පත් වෙලා තියෙනවා. ඉතින් අඩු බර නිසා හැන්ඩ්ලින් වලත් ලොකු ප්‍රගතියක් අත් කරගන්න මේ බයික් එකට පුලුවන් වෙලා තියෙනවා. බ්‍රේක් කරලා ආයෙත් ඇක්සලරේට් කරද්දිත් බයික් එකේ හොඳ පාලනයක් තියෙනවා. මොඩ්ල් 3 අනුව බයික් එකට එන ටයර් වර්ගය වෙනස් උනත් බයික් එකේ සස්පෙන්ශන්ස් ගැන නම් සෑහීමකට පත් වෙන්න පුලුවන් හැබැයි මේක බයික් එක පාවිච්චි කරන ප්‍රදේශය එක්ක වෙනස් වෙන්න පුලුවන්. බයික් එකේ සීට් එකත් අඩි 6ක සාමාන්‍ය උසක් ඇති කෙනෙක්ට හොඳට ඉඩ කඩ සහිතව සැප පහසුව වාඩි වෙලා ඉන්න පුලුවන් විදියට නිර්මාණය කරලා තියෙනවා. බයික් එක පදිද්දි අත්වලට දැනෙන බර අඩුයි වගේම උරහිස් නිදහසේ තියාගන්න පුලුවන්කමත් හම්බෙනවා.

  • බ්‍රේක් සහ අමතර උපාංග

ඕනෑම හදිස්සි අවස්ථාවකදී කිසිම කරදරයක් නැතුව පාරේ අයිනට කරලා නවත්තන්න පුලුවන් විදියේ බ්‍රේක් සිස්ටම් එකක් BMW S1000RR 2019 මොඩ්ල්වල අඩංගු වෙනවා. බ්‍රේක් ලීවර් එකත් ඇජස්ට් කරන්න පුලුවන් නිසා ඔයාට ඕන විදියට හදාගන්න පුලුවන්. 6-axis sensor එක නිසා බයික් එකම හිතලා ගොඩක් වැඩ කොටසක් කරනවා. ABS Pro බ්‍රේක් සිස්ටම් එක වගේම අඟල් 6.5 ඩිස්ප්ලේ එකත් ගොඩක් දෙනාගේ හිත් දිනාගත්ත අංග වෙනවා. මේක අපි එදිනෙදා දකින විදියේ සාමාන්‍ය බයික් එකක් නම් නෙමෙයි. සෑහෙන්න ඉලෙක්ට්‍රොණික් අංග උපාංග ගොඩක් එක්ක එන අපි ෆිල්මවල දකින විදියේ බයික් එකක්.

Back to top button
Close
Close