Maintenance

Bike Accident වැඩි වෙන්න හේතු

තාමත් හැම විනාඩි 4කට පාරක්ම ලෝකේ කොහේ හරි තැනක රිය අනතුරක් සිද්ධ වෙනවා. ඒ අතරින් ලංකාවේ දවසකට වැඩිම අනතුරු ගණනක් සිද්ධ වෙන්නේ Bike නිසා. හැමෝම මෙතනදි වරද පටවන්නේ Bike පදින අයටයි. හරියටම කල්පනා කරලා බැලුවොත් එතනදි වැඩිපුරම වරද තියෙන්නේ Bike පදවන අයගේ තමයි. ඒ නිසයි ලංකාවේ රිය අනතුරු අවම කරන බලාපොරොත්තු ඇතුව Biker.lk අපි අද මේ Bike Accident වලට හේතුව හෙලි කරන්නේ.

 

01. දැන දැන කරන වැරදි

 

Bike Accident Sri Lanka

අස්සෙන් අස්සෙන් දාලා ඉක්මනට යන්න පුළුවන් නිසා Bike පදින අයට සමහරු දොස් කියන්නේ පාර පුරා යනවා කියලයි. ඇත්තටම මේ පාර පුරා ගමන තමයි අද වෙනකොට ලංකාවේ බොහොමයක් Bike අනතුරු වලට හේතුව. ඉරි ගහලා බෙදලා නැති වුණත් ඔබ Bike එකේ යන්නේ එක Line එකක. හැබැයි ඔබට හිතුන ගමන් ඔබ Bike එකේ ගමන් ගත් Line එක වෙනස් කළොත්, ඒකට එකවරම ඔරොත්තු දෙන්න පිටුපසින් එන වාහනයට බැරි වෙන්න පුළුවන්. ඔබ වගේම පිටුපසින් එන රියදුරාත් වෙන සිහියකින් ආවොත් අනිවාර්යයෙන්ම එතන අනතුරක් සිද්ධ වෙනවා. Bike පදින ඔබ පාරේ ගමන් ගන්න වාහන ගැන වගේම පාරේ නවත්තලා තියෙන වාහන ගැන සහ පදිකයන් ගැනත් ටිකක් හිතන්න ඕනේ. නවත්වලා තිබෙන වාහන වලින් එකවරම දොරවල් ඇරෙන්න පුළුවන්, මිනිසුන් එළියට බහින්න පුළුවන්, ඒ වගේම නවත්වා තිබෙන වාහන වල ඉදිරියෙන් ඇවිත් පදිකයන් පාර මාරු වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අද වෙනකොට ලෝකයේම Bike අනතුරු වලින් වැඩි ප්‍රමාණයකට හේතුව අධික වේගය. අධික වේගයෙන් ඕනෑම වාහනයක් පදවන විට පාරේ අනිත් වාහන රියදුරන්ගේ සහ පදිකයන්ගේ ප්‍රතිචාරයන් හරිම විදිහට ග්‍රහණය කරගන්න ඔබට ලැබෙන වෙලාව අඩුයි. ඒ නිසයි අධික වේගය අනතුරු වලට පාර කපන්නේ. මේ හේතුව නිසා වේගය වැඩි වෙන්න වැඩි වෙන්න අනතුරක් සිදුවීමේ සම්භාවිතාවය වැඩියි.

මත් පැන් සහ මත ද්‍රව්‍ය භාවිතා කොට වාහන ධාවනය නිසාත් අද වෙනකොට සැලකිය යුතු රථ වාහන අනතුරු සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. නිවැරදි කල්පනාව කියන්නේ ඕනෑම වාහනයක් පදවනකොට අපි ළඟ තියෙන්නේ ඕන දෙයක්. ඒ හරිම කල්පනාව නැති වුණාම අනතුරු සිද්ධ වෙන්න සමහර වෙලාවට හේතුවක් ඕනේ වෙන්නෙත් නැහැ. පිටුපසින්, ඉදිරියෙන් යන එන වාහන වල වේගය හරියටම නිශ්චිත කරගන්න බැරි වීම, තමන්ගේ වේගය පිලිබඳ හරිහැටි අවබෝධයක් නොමැතිකම නිසයි මත් පැන් සහ මත් ද්‍රව්‍ය නිසා ගොඩාක් අනතුරු සිද්ධ වෙන්නේ. ඔන්න ඔය කියන කාරනා ඇත්තටම අපි කරන්නේ දැන දැන. ඒ නිසා තවදුරටත් දැන දැන වැරදි කරලා ජීවිතේට අවධානමක් ගන්නවද කියලා ඔබම තීරණය කරන්න.

 

02. අස්සෙන් රිංග රිංග ගමන

 

Bike Accident Sri Lanka

Bike එකක් නිසාම පොඩි ඉඩකින් වුනත් රිංගලා යන්න ඔබට පුළුවන් බව ඇත්ත. හැබැයි එක දිගට යන වාහන පේළි දෙකක් අතරට ඔබ ඔබේ bike එක දානවා කියන්නෙම ලොකු අවධානමක්. හැමදාම උදේ හවස නොදනුවත්වම ඔබ මේ අවධානම ගන්නේ තියෙන හදිස්සියට. ඒ වගේම රියදුරු බලපත්‍රය ගන්න කාලේ Bike පැදපු විදිහ ඔබට මතකද? ලර්නස් එකෙන් කියලා දුන්නු නීති රීති අකුරටම පිළිපැද්දා. හැබැයි දැන් අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න ඔබ ඒ දේවල් අමතක කරලා. අන්න ඒ නිසයි පස්සෙන් ගිහින් වාහන වල හැප්පෙන ප්‍රවනතාවය දැන් වැඩි. මතක තියා ගන්න, ඔබ ඕනෑම වාහනයක් පස්සෙන් යනවා නම් ඒ වාහනයේ පිටුපස රෝද ඔබේ ඇස් වලට පෙනෙන දුරින් Bike එක ධාවනය කරන්න. එතකොට හදිස්සියකට හරි ඉස්සරහින් යන වාහන Brake ගැහුවොත් ඔබට Bike එක නවත්ත ගන්න කාලය ඇතිවේවි. මහා අනතුරක් මඟ හැරෙයි.

 

03. වැරදි විනිශ්චය

 

Bike Accident Sri Lanka

අද වෙනකොට Bike Accident වැඩි වෙන්න තවත් ප්‍රධානම හේතුවක් තමයි මේ. පිටුපස සහ ඉදිරිපස යන වාහන අතර පරතරය කොච්චරක්ද කියලා සමහර Riders ලට හරිහැටි අවබෝධයක් නැතිවෙන්න පුළුවන්. ඒ නිසාමයි පැති කණ්නාඩි ප්‍රතිබිම්බය තියෙනවට වඩා ලඟින් පෙන්වන විදිහට හදලත් තියෙන්නේ. හැබැයි ඒ වුණත් සමහර වෙලාවට ආධුනික Riders ලට ඒ දුර ගැන හරි හැටි අවබෝධයක් නැති වෙන්න්න පුළුවන්. එහෙම අවස්ථාවක වාහනය එහෙට මෙහෙට හරවන්න යනකොට අනතුරු සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ හරිම වැඩියි.

 

04. අනතුරු වලකන ටයර්

 

Bike Accident Sri Lanka

අද වෙනකොට අපේ රටේ සිද්ධ වෙන Bike අනතුරු වලට බලපාන තවත් කාරණාවක් තමයි නියම ප්‍රමිතියේ ටයර් භාවිතා නොකිරීම. නිසි ප්‍රමිතියේ කට්ට රටා, වැඩි ප්‍රදේශයක් පොළොවේ ස්පර්ශ වන සහ වැඩි නම්‍යශීලි බවකින් යුතු ටයර් භාවිත නොකළොත් Bike අනතුරු සිදුවීමේ සම්භාවිතාව වැඩි වෙනවා. මොකද Brake පාරකදී Bike එක ලිස්සා යන්න පුළුවන්. නැත්නම් කඩතොළු, වලවල් සහිත මාර්ගයකදී ඔබේ සමබරතාවය ගිලිහෙන්න පුළුවන්. මේ වගේ කාරණාත් ඔබව නිරායාසයෙන්ම අනතුරකට පටලනවා. ඒ නිසා Bike එකට Tire දානකොට හරිම ප්‍රමිතියේ අපේ රටට ගැලපෙන්න නිෂ්පාදනය කරපු Tire ම භාවිතා කරන්න.

 

5. වරද මගේ

 

Bike Accident Sri Lanka

හැම වෙලාවෙම වරද ඔබේ හෝ වෙනත් රියදුරෙක්ගේ නොවෙන්න පුළුවන්. එහෙනම් වැරදි කවුද? ඒ ඔබේ Bike එක වෙන්නත් පුළුවන්. මහමඟදී ඔබ නොහිතන විදිහට Bike එකේ කාර්මික දෝෂයක් ඇති වුණොත් එයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න ඔබට ඉඩක් නොලැබුනොත් එය සමහරවිට අනතුරකට අතවනාවී. හදිස්සියකට Brake, Clutch වගේම ගියර් භාවිතා කරන්න ඕන වුනු වෙලාවක ඒවා නියමිත විදිහට ක්‍රියා නොකලොත් වගේම රාත්‍රියේදී විදුලි ලාම්පු දැල් වුනේ නැත්නම් එයත් ඔබව අනතුරකට රැගෙන යන කාරණයක් වෙනවා. ඒ නිසා පුරුද්දකට වගේ Tire වල තත්වය, Brake, Clutch වගේම Lights වල තත්වය බලලා Bike එකේ ගමන පිටත් වෙන්න. ඒක ඔබේ ජීවිතය පරිස්සම් කරලා අනතුරු අඩු කරන පුරුද්දක් වේවි.

වෙනත් වාහනයක් පදවන අයට වඩා Bike එකක් පදවනකොට ඔබ සැලකිලිමත් බව ටිකක් වැඩි වෙන්න ඕනේ. මොකද ඔබ ගමන් කරන්නේ බාහිර ආවරණ නැති සමබරතාවය ගිලිහුනොත් පෙරලෙන රෝද දෙකේ වාහනයක් උඩ. ඒ නිසා අනතුරකදී Bike එකේ යන කෙනාට හානිය වැඩියි. සාමාන්‍යයෙන් Bike එකක් අනතුරකට ලක්වීමේදී පදවන කෙනාගේ මොළයට හානිවීම, අස්ථි බිඳීම්, ශරීර අභ්‍යන්තර මෙන්ම බාහිර අධික රුධිර වහනයන් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසයි Bike අනතුරු වලදී පදවන කෙනාට බරපතල හානි සිද්ධ වෙන්නේ. ජීවිතය අහිමිවීමේ ඉඳලා ජීවිතයේ ඉතිරි කාලයම අඳුරට ඇඳලා දාන තත්වයට පවා පත්වෙන්න ඉඩකඩ වැඩියි. ඒ නිසා අදින් පස්සේ ඔබ Bike එකේ යනකොට මේ කියන කරුණු ටික හොඳට ඔලුවේ තියාගෙන යන්න.

Tags

Leave a Reply

Back to top button
Close
Close